Thursday, 25 April 2013


යකඩ

යකඩ කියන්නේ අපේ ශරීරයේ වර්ධනයට අත්‍යවශ්‍යම ඛනිජයක්. යකඩ ශරීරයේ පේශි වල ක්‍රියාකරීත්වයට අවශ්‍යවන මයෝග්ලොබින් ප්‍රෝටීනය සැදීමට වගේම රිධිරයේ ඔක්ෂිජන් ප්‍රවාහනයට උපකාරී වන හිමොග්ලොබින් අණු සැදීමට නැතිවම බැරි සංඝටකයක්. නිරක්තිය නැත්නම් රක්තහීනතව කියන රෝගය ඇතිවෙන්න මූලිකම හේතුව වෙන්නේත් අපේ ශරීරයේ අඩංගු යකඩ ප්‍රමාණය අඩුවීම. යකඩ ඌණතාවයක් ඇති නොවෙන්න නම් අපි අපේ ආහාරයට මෙන්න මේ කියන  කෑම ජාති එකතු කර ගන්නම ඕනෙ.

පීකුදු
මස් (හරක් මස්, කුකුල් මස්)
බෙල්ලන් වර්ග
පලා වර්ග
සෝයා බෝංචි, පරිප්පු, කවුපි වැනි ධාන්‍යය වර්ග
කජු මද
බිත්තර






අපි ගන්න ආහාරවල තියන යකඩ දෙයාකාරයකට පවතිනවා. සත්ව ආහාර වල අඩංගු යකඩ හීම් අයන ලෙසත් ශාක ආහාර වල අඩංගු යකඩ හීම් නොවන යකඩ අයන විදියටත් හදුන්වනවා. මේ ආකාර දෙකෙන් හීම් අයන නැත්නම් සත්ව ආහාර වල තියන යකඩ පහසුවෙන්  අපේ ඇගට 
 උරාගන්නවා. නමුත්ශාක ආහාර වල තියන යකඩ කොටස් අපේ ශරීරයට උරාගන්නේ අඩුවෙන්. ශාක ආහාරවල තියන යකඩ අවශෝෂණය වැඩි කරන්න පුළුවන් ක්‍රම කීපයක් තමා පහලින් දක්වල තියෙන්නේ.

ශාකමය ආහාර හා සත්වමය ආහාර එකට ගැනීමෙන්, හීම් අයන මගින් හීම් නොවන යකඩ අයන ශරීරයට උරා ගැනීම පහසු කරනවා.

විටමින් C අඩංගු කෑම වර්ග (උදා: දොඩම්, තක්කාලි, දෙහි) මගිනුත් හීම් නොවන යකඩ අවශෝෂණය පහසු කරවනවා.

මෙන්න මේ කිව්ව කාරණා නිසා තමයි අපි හදන එලවළු සලාද වලට, පලා කොල මැල්ලුම් වලට උම්බලකඩ කුඩු ටිකක්, දෙහි ටිකක්, තක්කාලි කෑල්ලක් එකතු කරන්නේ. එකෙන් කෑමේ රසය විතරක් නෙමෙයි ගුණයත් වැඩි කරනවා.



අපි එදිනෙදා කරන සමහර වැරදි ආහාර රටා නිසාත් යකඩ අවශෝෂණය අඩු වෙනවා.
  • තේ, කෝපි වල තියන ඇතැම් රසායනික සංයෝග (පොලිපීනෝල්) වලින් ආහාරයේ තියන යකඩ උරා ගැනීම වලක්වනවා. ප්‍රධාන ආහාර වේලක් ගත්තාම පැයක්වත් යනකම් තේ කෝපි වගේ දේවල් නොබොනවානම් තමා හොද. එත් අපේ රටේ බොහෝ දෙනෙක් මේ වැරැද්ද කරනවා. අද ඉදලා මේ වරැදි පුරුද්ද නැති කරන්න ඔයාලටත් දායක වෙන්න පුලුවන්.
  • අධික ලෙස තන්තූමය කොටස් අඩංගු ආහාර වල තිබෙන"ෆයිටේට්" කියන සංයෝගය නිසාත් යකඩ අවශෝෂණය අඩු වෙනවා.
  • කැල්සියම් අධික ආහාරත් යකඩ අවශෝෂණය වලක්වනවා. මෙන්න මේ හේතුව නිසා තමා ගැබිණි මව්වරුන්ට ලබාදෙන යකඩ පෙතියි කැල්සියම් පෙතියි එකට බොන්න එපා කියලා කියන්නේ.
  • මීට අමතරව දුම් බීම වගේ අයහපත් සෞඛ්‍ය පුරුදු නිසාත් යකඩ අවශෝෂණය වැලකෙනවා.

කටට රහට වගේම පෝෂණීය කෑම වේලකට අද කිව්ව කාරණා ටික උදව්වක් වෙන්න ඇති කියල හිතෙනවා. මේ  ගැන නොදන්න අයටත් කියලා දීලා ඒ අයවත් දැනුවත් කරන්න ඔයාලටත් දැන් පුළුවන්.







No comments:

Post a Comment