ඉඹුල් කිරිබත්
ශ්‍රී ලාංකිකයන් අතර ඉතාම ජනප්‍රිය, සුබ කටයුතු වලදි නැතිවම බැරි කෑමක් තමයි කිරිබත්. කිරිබත් විවිද විදියට හදා ගන්න පුලුවන්. ඒ අතරින් ඉඹුල් කිරිබත් කියන්නේ ලොකු කුඩා කවුරුත් ආසවෙන් කන්න කැමති කෑමක්. ඒ නිසා අද අපි පහසුවෙන් ඉඹුල් කිරිබතක් පිලියෙල කරගන්නේ කොහොමද බලමු.
පැණි පොල්
අවශ්‍යය ද්‍රව්‍ය:
- සිහින්ව ගාගත් පොල් 100g
- සීනි 100g
- කරදමුංගු 2
- කරාඹුනැටි 3
- ලුණු ස්වල්පයක් රස අනුව
සාදන අයුරු:
මුලින්ම භාජනක් ලිප තියල ඒකට සීනි මේස හැදි 3ක් දාලා සීනි ටික පැණි පාට වනතෙක් උණු කර ගන්න. සීනි පැණි පාටට හැරුණට පස්සේ ඒකට උණුවතුර 100 ml පමණ එක්කරලා හොදින් හැදිගාගන්න. ඊට පස්සේ ඒ මිශ්‍රණයටම ඉතුරු සීනි ටිකයි, කුඩුකරගත්ත කදමුංගු, කරාඹුනැටි ටිකයි, ලුණුයි එකතු කරලා මද ගින්දරේ හොදට හැදි ගාන්න. මිශ්‍රණය විනාඩි පහක් විතර උණු උනාට පස්සේ ගාගත් පොල් ටිකත් ඒකටම එකතු කරලා හොදට කලවම්කර ගන්න. පැණි සේරම පොල් වලට උරාගෙන පොල් ටික විනාඩි 10ක් විතර හොදින් මැලවුනාට පස්සේ පැණි පොල් ටික ලෑස්තියි.
කිරිබත්
අවශ්‍යය ද්‍රව්‍යය:
- කැකුලු හාල් කෝප්ප 2 (300g)
- වතුර කෝප්ප 3 1/2
- මිටිකිරි කෝප්ප්ප 1 1/2
- ලුණු තේ හැදි 1 1/2
සාදන අයුරු:
හාල් ටික හොදට හෝදල වතුර කෝප්ප 3ක් එකතු කරල මුලින්ම බත උයාගන්න. වතුර වෙනුවට දිය කිරි එකතු කලොත් කිරිබත් එක තවත් රසට තියෙයි. බත් එක ටිකක් බෙරි උනාට කමක් නැහැ. දැන් මිටි කිරි ටිකට ලුණු කලවම් කරලා බත් එකට එකතු කරලා හොදට කලවම් කරන්න. මතක ඇතුව කිරි දැම්මට පස්සේ ලිපේ ගින්දර නම් ටිකක අඩු කරන්න ඕනේ.නැත්නම් කිරිබත රොස් වෙන්න බලනවා. කිරි ටික හොදට උරාගෙන කිරිබත හැදුනට පස්සේ, ගොඩාක් වේලෙන්න කලින් ලිපෙන් බා ගන්න. මොකද ඉඹුල් කිරිබත් හදන කොට පොඩ්ඩක් තෙත ගතිය තිබ්බේ නැත්නම් කිරිබත් බෝල කරන්න අමාරුයි.
කිරිබත් බෝල සාදන අයුරු:
ටිකක් ඝනකම ඉටි කොල කෑල්ල්ක් හරි කිරිපිටි කවරයක් හරි ගන්න. පහලින් තියන රූපේ පෙන්නල තියන විදියට ඉටි කොල කල්ල මැදට වෙන්න කිරිබත් බෙදලා ටිකක් තුනී කර ගන්න.
දැන් ඒ මැදට වෙන්න පැණි පොල් මේස හැන්දක් විතර දාලා පැණි පොල් ටික මැදි වෙන විදියට දෙපැත්තෙන් කිරිබත් එකතු කර ගන්න.
රූපේ පෙන්නල තියන විදියට ටොෆි එකක් ඔතනවා වගේ ඉටි කොලේ තද කරලා කිරිබත් බෝල හදා ගන්න පුලුවන්. ඉඹුල් කිරිබත් හදන එක හිතුවා වගේ අමාරු නැහැ නේද? ඔයාලත් හදලා බලලා අපිට විස්තර කියන්න.
වැදගත් වෙන කරුණු ටිකක්
- ගෙදර තරාදියක් නෑ කියල කලබල වෙන්න ඕනේ නෑ. සාමාන්‍යයෙන් සීනි මේස හැන්දක ප්‍රමාණය කියන්නේ සීනි 14g කට. සීනි 100g ගන්න ඕනේ නම්, සීනි හැදි 7 ගත්තාම හරි.
- බතක් උයනකොට ගන්න හාල් ප්‍රමාණය වගේ එකහමාරක් වතුර දාන්න ඕනේ. ඒ කියන්නේ හාල් කෝප්ප 2කට වතුර කෝප්ප 3යි. කිරිබතට නම් වතුර ටිකක් වැඩි උනාට කමක් නැහැ.
- මේ කෑම වට්ටෝරුව දෙන්නෙකුට හොදටම ඇති.
No comments:
Post a Comment