Monday, 20 May 2013


අල බෝල/ අල බොන්ඩා

අල බොන්ඩා කියන්නේ නිර්මාංශ අය අතර ගොඩක් ජනප්‍රිය, ඒ වගේම කොයි කවුරුත් කන්න ආස කරන  කෑමක්. අද අපි කියන්නේ ගෙදරදීම පහසුවෙන් අල බෝල නැත්නම් අල බොන්ඩා හදා ගන්න හැටි ගැන. 



අවශ්‍යය ද්‍රව්‍ය: 
අල බෝල
  • තම්බාගත් අල  400g                                                        
  • ලොකු ලූනු ගෙඩි 1
  • අමුමිරිස් කරල් 3
  • කරපිංචා ඉත්තක්
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1
  • කහ කුඩු තේ හැදි 1/2
  • අඹරාගත් සුදු ලූනු බික් 2
  • අඹරාගත් ඉගුරු තේ හැදි 1/2
  • පදම අනුව ලුණු
  • දෙහි යුෂ තේ හැදි 1

පිටි මිශ්‍රණය
  • කඩල පිටි කෝප්ප 1
  • ලුණු තේ හැදි 1/2
  • මිරිස් කුඩු  තේ හැදි 1/2
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1/4
  • බේකින් සෝඩා තේ හැදි 1/4

සාදන අයුරු:

මුලින්ම තම්බාගත්ත අල ටික කෑලි සිටින සේ පොඩි කරගන්න. දැන් භාජනයක් ලිප තියලා තෙල් මේස හැදි දෙකක් දාල තෙල් රත් වෙනකොට ඉගුරු, සුදු ලූනු, කුඩාවට කපාගත්ත ලූනු, අමු මිරිස්, කරපිංචා  එකතු කරලා තෙම්පරාදු කර ගන්න. ඒ අතරම කහ කුඩු, ගම්මිරිස් කුඩු එකතු කර ගන්න. මිශ්‍රණය තෙම්පරාදු වුනාට පස්සේ අල එකතු කරන්න.  රස පදමට ලුණු එකතු කරල මිශ්‍රණය හොදින් කලවම් කරන්න. තවත් විනාඩි 5-6 ක් අල මිශ්‍රණය තෙම්පරාදු උනාට පස්සේ ලිපෙන් බා දෙහි යුෂ එකතු කරන්න. අල මිශ්‍රණයෙන් තමන්ට කැමති ප්‍රමාණයේ අල බෝල සාදා ගන්න.

කඩල පිටි, ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු. බේකින් සෝඩා එකට මිශ්‍රකර ඒ මිශ්‍රණයට වතුර ටිකෙන් ටික එක් කරමින් පිටි කැටි නොහිටන සේ උකු පිටි මිශ්‍රණයක් හදා ගන්න.

සාදාගත් අල බෝල පිටි මිශ්‍රණයේ තවරා ගැඹුරු තෙලේ න්න්  පාට වනතෙක් බැද ගන්න.



Monday, 6 May 2013


පෝෂණීය  රොටියක් හදමු

අපි කවුරුත් රොටි කන්න කැමතිනේ. මේ කියන්න යන්නෙත් රොටි ජාතියක් ගැන තමයි. හැබැයි මේක නිකම්ම පොල් රොටියකට වඩා රසයෙන් වගේම පෝෂණ ගුණයෙනුත් ඉහල රොටියක්.


අවශ්‍යය ද්‍රව්‍ය: 
  • පිටි කෝප්ප 2 1/2
  • ගාගත් පොල් කෝප්ප 1
  • කැරට්
  • ලීක්ස්
  • ලූනු
  • බිත්තර 1
  • කරපිංචා
  • ලුණු තේ හැදි 1
  • අවශ්‍ය පමණ වතුර
සාදන අයුරු:

මුලින්ම කැරට්, ලීක්ස්, ලූනු කුඩාවට කපා ගන්න. පිටි ටික භාජනයකට දාලා එකටම ගාගත් පොල්, ලුණු එකතු කරලා කලවම් කරන්න. දැන් ඒ ම්ශ්‍රණයටම පොඩියට කපාගත්ත එලවළු, කරපිංචා සහ බීට් කරගත්තු බිත්තරයත්  එකතු කරල හොදට කලවම් කරන්න. ඕනේ නම් මේකට උම්බල කඩ කෑලි ටිකක් උනත් එකතු කරන්න පුළුවන්. දැන් වතුර ටික ටික එකතු කරන ගමන් පිටි මිශ්‍රණය අතේ ඇලෙන්නෙ නැති පදමට අනා කුඩා පිටි බෝල සාදාගන්න. කුඩා පිටි බෝල පොල් තෙල් ස්වල්පයක්  ගාගත් පැතලි මතුපිටක තුනී කර රොටි තැටියක දමා පදමට පුලුස්සා ගන්න.